Wednesday, October 9, 2013

පිච්ච මල.......

 කුණ්ඩුමනී මේ බලන්න
       දවස් ගනන් කෝවිල ලඟ
       උඹ එනකන් බලන් හිටියේ
       ඝන දෙවිඳුගේ පාමුල මම

       හැමදාමත් නුඹේ කෙහෙරැළි
       පිරාගෙන පිට දිගේට
       වැටුන පිච්ච මල් සේරම
       අහුල ගත්තා මං හෙමිහිට

       එක එක අරගෙන ගිහිල්ලා
       පොත් පිටුවක හිර කරලා
       පරිස්සමට තියං උන්නේ
       නුඹේ සුවඳයි ඒ මල් ලඟ

       අදත් වෙනදා වගේම මම
       උඹටත් කලියෙන් මෙතෙන්ට
       ආවේ කෝම හරි කියන්ට
       කියා ගන්ට බැරි වුණ පෙම

         කෝවිල ලඟ ගල් පඩිපෙළ
       පාමුල ඇයි ඔය විදියට
       පරෙවි ඇඟිලි තුඩු උස්සා
       බලන්නේ පෙර මඟ මොකකට

       මුතු ඇට විසිරුණු විලසට
       පෑව සිනාවේ අරුමෙට
       කීරි ගැහිලා ගිය තරමට
       බර වැඩි වුණේ මගේ හදට

      මේ කෝවිල ලඟ ඉඳගෙන
      මං ඉන්නම් මඟ බලාන
      නුඹ අන්සතු උනත් කුමට
        පිච්ච මලක් හෙලපන් බිම.......


2013.10.09

දික්කසාදය...............

සීරුවට ගලා යන
රත් පැහැ ලෙයට
කැලතූ පෙම
ඇදී ඇදී ..එනවා
තාමත් මේ හදට
මටම විතරක්
දැනෙනවා
තාම ඒ බර
සුදු කමිසෙ අත දිගට
තාමත් අගෙයි නුඹට
ටිකකට වත් බැලුවනම්
කියා ගන්නවත්

තිබුණනේ
අද නුඹේ හැඩ
මං ඇන්දේ සුදු සාරිය
ඕනෑවට එපාවට
හැඩයක් නෑ නේද
මගේ අද
කාටවත් ඕනෑවට
ඇයි මේ දුක!
කුල ආගම්
නැති වත්කම්
කොහෙන් මං
ගේන්නද
අනේ මට මතකයි
තාම නුඹේ කවි සිත....


2013.10.08

Friday, October 4, 2013

සැඟවුනු දුක.................

සිත පෙලා දමා

දෙන දඩුවම්

ඔබට දුන් ආලයට නම්

මිලින වු මා හිමිකම්

සොයා කුමකට හඩනු මම්

 

සිනාවකට යටව

හද දියඹ කලඹා යන

සුසුමක සිර වී

සැඟවවුනු දුක

 

නුඹ මිසෙක

වෙනකෙකු

වටහා ගනු කුමට    ............ 

2012 ජුනි මස 27 වැනිදා

නොසරුප් වදන්......................


අදහනු බැරි ලෙසින්

නූඹේ මුවඟින් ගිලිහහෙන

නොසරුප් වදන්

මහද පසාරු කර යැවු

පිහි තුඩු මෙන්

රිදුම් දුන්නද

අකාලයේ මියැදෙන යෞවනයත්

සුදෝ සුදු

පිවිතුරුම ආලයන්

නුඹට ම සින්න වුයෙන්

වැටෙන කඳුලත්

සඟවා ගන්නම් …........ 

2012 ජුනි මස 20 වැනිදා

විදුලි අකුණු වැදී......................

මේ කුළු අහස යට

ඔබත් මාත්

හිඳිනා කල ,

විදුලි අකුණු වැදී

අනෝරා වැසි වැටුනත් ,

 

හිතකින්වත් මිදී

දුර ඈතක ඇදී

නොයා හිදිද්දී ,,,

 

සිතුනේ ………………………

 

මගේ හිතේ

පිරවිය හැකි

තව අඩුවක්

 

නුඹට

ඇතිද කියා  ………………… 



2012 මාර්තු මස 30 වැනිදා

උණු කඳුලක බර.......................


නු‍ඹේ අවිහිංසක‍

නෙතු අගින් වැටෙන

උණු කඳුලක බර

මහද පසාරු කර යද්දි.,,

මා නිරුදක කතරක තනි වී

හුස්මක් ගනු බැරිව සිරවී

දස දහස් වර

දැවී නිවී යනු දැනේ

එකවර නොමැරි වැටී……….    


2012 මාර්තු මස 23 වැනිදා

ගිම්හානය.....

ගිම්හානය

වියැකි යන වගවත්

නොදැන

උන් මට

නොසිතුව ඇසිල්ලෙන්

මහද සුවබර කල

නුඹ

පමා වී ආ

වසන්තයක් මැයි .... 


2012 මාර්තු මස 21 වැනිදා

මම නුඹට පෙම් කලෙමි…………..


නුඹ අහස වු කල්හි

මහ පොලොව වුයෙමි මං

අපි අපට දුරස් බව දැන දැන ත්

මම නුඹට පෙම් කලෙමි…………..

කෙදිනක හෝ අපේ අතැගිලි

ලිහි ගිලිහි යන දා

හිනැහෙන්නම්

නුඹ මට දුන් සොදුරු ලොව

මගේ නෙතු පුරා

පිරි ඉතිරි ගලනා නිසා………………. 


2012 මාර්තු මස 10 වැනිදා

තෙල් සාත්තුව.......


දළු හිනැහෙනවා

එක යායට

ඉඟටිය ලඟටම ගෑවෙන තරමට

නීල යායට...

හිනැහුනා තේ දළුවක්

සරදමට

නෑ හැඳුනුම්කමට !

 

හතරේ කණිසමට

වත්තේ මායිමේ

සුදු හුණු ගෑ බංගලාවට

දුවලා ගිහිං එනගමන්

සුදු මහත්තයැන්ගේ

කිරි සුදු පාට

කකුලට අමාරුවක්...

 

ඉල්ලුවම තෙල් සාත්තුවක්

කෝම කරරින්නද මං

 

හීතලට උණුහුමක්

හොය හොයා කිරි පුතුගේ

කෙඳිරිල්ලත් ඇහුණා

ගල ලඟ පල්ලමටම

කිරි එරෙතැයි බයෙන්

තද කරා ලැම සළුවෙන්

 

ආයෙත් ඉතිං හැරෙන්ටද

යන්නම එපැයි

දෙන්න තෙල් සාත්තුව 


2013.10.01

නූතන පෙම්වතා.....


හැට හතර මායමට

රැවටුනා උන් අපට

කවුදත් කියලා තිවුණා

පිටු පරණ කවි පොතක

කවුරු ලීවත් මොකද

උනුත් රැවටිලා නෙව

ඒකටත් එක්ක

දැන් හැදෙන කොල්ලන්ට

වගක්වත් වේද

“හැට හතර” මායමේ

උන්ගෙ පෙම උස්ව ගිය

වටොර හා වක් ලැමට...... 



2013.08.02

කතිරය......

 

තඩි බාලා ගෙයි දොරට

කපා හෙලූ පය මුලට

කෙහෙල් කඳ වගේ..

 

අපේ අප්පෝ මන්ත්‍රීතුමෝ..!!

නැගිටින්ට නැගිටින්ට

මේ මොන සංගෙදියක්ද

ඇහුව පමාවටම

දුන්නු මේ කඩදහිය

අලුත් තීන්ත සුවඳයි

“ප්‍රතිපත්ති ප්‍රකාශය”

අප්පේ ඉතිං

අපි මක් කොරන්ටද මේවට

අපරාදේ නොවැ කඩදහි

 

හිටින්ට මං එන්ඤ්ඤං

දෙපැත්තට කැපෙන්ට

අදිඤ්ඤං ඉරි දෙක

ඕක මහ කජ්ජක්ද

දැන් ඉතිං නැගිටින්ට...


2013.08.28

රස්සාව...


හයේ කණිසම

වැදුනා හංදියේ ඔරලෝසුව

සුනංගුයි ම’පුත

පැත්තකට වෙන්ට

කෝ පුයර බෝතලේ

දැන් මෙතන තිවුනනේ

ගෙන එන්ට

ගෙන එන්ට

සුනංගුයි ම’පුත

 

තොල් සායම් කූර

අන්න අර කණ්ඩියේ

උඩින් මං තිබ්බා

මිදුලෙයි තිවුනේ

රට කනේරු ගහ යට

 

අත තියන්ට එපා ඕවට

කීව දේ නාහන හැටි තාම

ගුටි දෙන්ට බෑ නුඹට

වාවන්නේ නෑ මට

හෝරාවක් දෙකක්

කොහේ හෝ සල‍ලෙකුට

යට වෙලා ගෙවන පව

වරද උඹේ නොව පුත

 

සුනංගුයි ම’පුත

හෝරාවක් දෙකක්

තියෙයි වැඩි පුර වැඩ

එහෙමටම සුනංගුවක්

නෑ ..එන්නම් හනිකට

අතරින්න සාරි පොට..........

2013.06.22

කුළුඳුල් පතිනිය.....

 

දෑ..ල  ගං ඉවුර දිය

මත වැටී දිලෙන සඳ

කළඹවයි ගං දියම

මගේ.. හද විල සේම

 

ක්ෂීර පැහැ තවරලා

සඳත් දිය කර හලා

නැහැව්වත් කුමට මට

හිමි ගොළුව වෙන්වෙලා

 

අර ඉවුරු තල කොනේ

හැමදාක නුඹ පෙනේ

මේ ඉවුරු තල කොනේ

මං තමයි තනි වුනේ....


2013.06.20